AI, මිනිස් මොළය අක්‍රීය කරනවාද?
- Idasara

- Jul 6
- 3 min read
Updated: Jul 6
අවුරුදු 30ක තරුණයකු වූ මොහුට උණක් වැළඳුනි. දින දෙකක සරල ප්‍රතිකාරයකින් සුව නොවූ තැන වෛද්‍යවරයකු හමුවීමට තීරණය කළ තරුණයා රුධිර වාර්ථාවක් ද ගෙන යාමට පියවර ගත්තේය. වෛද්‍යවරයා මුණගැසෙන්නට පෙර මොහු තම රුධිර වාර්ථාව ගැන ‘චැට්ජීපීටී’ හෙවත් AI වෙතින් විමසුවේය. ඔහු තොරතුරු තාක්ෂණ ලෝකය තම ලෝකය බවට පත් කර ගත් අයෙකු බවද සඳහන් කළ යුතුය.
ඒ වන විට උණ හා සෙම්ප්‍රතික්ෂාවට භාවිතා කළ සාමාන්‍ය ඖෂධ ගැනද මොහු ‘චැට්ජීපීටී’ හෙවත් AI වෙත සඳහන් කළේය. වැළැඳී ඇත්තේ වෛරස් උණක් බවත් භාවිතා කළ ඖෂධ ම තව දුරටත් සුදුසු බවත් දින දෙකකින් පමණ අමාරුව සුව අතට හැරෙන බවත් AI දුන් පිළිතුර විය. ඖෂධ ගෙන තිබුණේ වෛද්‍යවරයකුගේ උපදෙසකින් තොරව ඖෂධ වේදියකුගෙ උපදෙස් අනුවය. ‘චැට්ජීපීටී’ හෙවත් AI දුන් පිළිතුර හිතේ තබා ගත් තරුණයා වෛද්‍යවරයා හමුවට පැමිනුණි.

තරුණයා පුදුමකරවමින් වෛද්‍යවරයා පැවසුවේ ද AI දුන් නිර්දේශයමයි. එතෙක් ගෙන තිබුණු ඖෂධ සමඟ කැස්සට තවත් ඖෂධයක් එකතු කළ වෛද්‍යවරයා රුධිර වාර්ථාව බලා කීවේ වැළැඳී ඇත්තේ වෛරස් උණක් බවත් තව දින දෙකකින් එය සමනය වන බවත් ය. වෛද්‍යවරයා තවත් බෙහෙතක් එකතු කිරීම වැදගත් කරුණකි; එය AI අභිබවන තීරණයකි. AI මතම යැපෙන ආකාරයට කටපාඩම් අධ්‍යාපනය මතම යැපෙන වෛද්‍යවරයකුට වඩා විශේෂඥ් බවක් මෙකී වෛද්‍යවරයා පෙන්වා ඇති බව දැනට සිහි තබා ගනිමු.
තමා ඉදිරියට එන රෝගියාගෙන් තොරතුරු විමසා හෝ වෙද නලාව තබා හෝ බටහිර වෛද්‍යවරයා, රෝගියාගේ තත්තවය ගැන යම් විනිශ්චයකට පැමිණෙයි. බොහෝ විට සිදු වන්නේ රෝගියා පවසන දෑ අනුවම වෛද්‍යවරයා නිගමනවලට ගොස් ඖෂධ නියම කිරීමයි. මේ ආකාරය ගැන සමාජ මාධ්‍යයේ පළ වූ එක්තරා විකට කතාවකට අනුව, රෝගියාගෙන් රෝගය ගැන වෛද්‍යවරයා විමසූ කල රෝගියා කීවේ, ‘මම රෝගය ගැන කියන්නම් චැනල් ගාස්තු අඩුකරනවනම්, එහෙම නැතිනම් මාව පරීක්ෂා කරලම රෝගය කුමක්දැයි දැන ගන්න’ යනුවෙනි. AI තාක්ෂණයෙන් බටහිර වෛද්‍ය වෘත්තියට එල්ල වී ඇත්තේද ‘රෝගය ගැන කියන්නම්, චැනල් ගාස්තු අඩු කරන්න’ කියන අභියෝගයයි.
මෙයින් වැදගත් කරුණු දෙකක් හෙළිවෙයි. පළමු වැන්න බටහිර වෛද්‍යවරයාගේ තැන AI හෙවත් කෘතිම බුද්ධිය විසින් අත්පත් කෙරෙමින් ඇති බවයි. එසේ වන්නේ අධ්‍යාපන ක්‍රමයට අනුගතව කටපාඩමින් ම යැපෙන වෛද්‍යවරයාගේ මිස අත්දැකීමෙන් විශේෂඥ වන වෛද්‍යවරයාගේ නොවේ. එනම් කටපාඩම් අධ්‍යාපන ක්‍රමය ද AI වෙතින් අභියෝගයට ලක්වෙයි. දෙවැන්න අපට අමතකව ගිය, එමෙන්ම කෘතිම බුද්ධියට අත්පත් කර ගත නොහැකි වෛද්‍ය ක්‍රමයක් ගැන සිහිපත් කිරීමයි. බටහිර වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත වීමට පෙර සමාජය දැන සිටි පැරණි දේශීය වෛද්‍යවරයා හෙවත් වෙද මහතා රෝග විනිශ්චය කළේ රෝගියාගෙන් කරුණු විමසා නොවේ. නාඩි බලා හෝ ජ්‍යොතිෂයෙන් හෝ වෙද මහතාගේම ක්‍රමයකට හෝ රෝගය ගැන විනිශ්චයකට එළඹුණි. එකී ක්‍රමය මුළුමනින්ම කෘතිම බුද්ධියට යට නොවන්නකි. එහෙත් රුධිර වාර්ථා වැනි පූර්ව නිර්දේශ දත්ත අනුව කෙරෙන වෛද්‍යවරයාගේ නිගමන, එකී වාර්ථා කියවන්නට දන්නා කෘතිම බුද්ධියට ද ලබා දිය හැකිය. එනම් 2025ට වසර 50ට පෙර අධ්‍යාපනයේ අග්‍ර පළය ලෙස සැලකුව බටහිර වෛද්‍ය වෘතියට, AI තාක්ෂණය අභියෝගයක් වී ඇත.
AI තාක්ෂණය නිසා කෘතිම බුද්ධිය වර්ධනය කළ මෘදුකාංග රැකියා පවා අභියෝගයට ලක් වූ කල, වෛද්‍ය රැකියාවට එල්ලවෙන අභියෝගය පුදුමයට කරුණක් නොවේ. එයින් ගම්‍යවන වැදගත් දෙයක් නම් දේශීය වෙදකම තවත් රැකියාවකට පුහුණු වීමක් නොවීමයි. AI විසින්ම පිළිගනු ලබන, මිනිස් චින්තනය AI ට අභිබවන්නට නොහැකි බවට දේශීය වෙදකම නිදසුනකි. ඇතැම් විට රෝගියාගේ නාඩි බලන්නට රොබෝ යන්ත්‍රයට හැකි දවසක් උදා වුණත් රෝග විනිශ්චය කළ හැක්කේ එම මොහොත අනුව නොව පෙර දත්ත හා අත්දැකීම් ඇසුරිණි. එසේ කළ හැකි වන්නෙ පැරණි වෙදාගේ ක්‍රමයට ළං වෙන කටපාඩම් අධ්‍යාපනයෙන් ඔබ්බට හිතන විශේෂඥ දැනුමකට පමණක් බවද මෙහිදී අවොබෝධ්‍යට ගත යුතුය.
මෙයින් පැහැදිලි වෙන තවත් පැතිකඩක් නම් AI නිසා රැකියා අවස්ථා අහිමිව අනාගතය අඳුරු වීම ගැන බියක් ඇතිකර ගත යුතු නැති බවයි. එනම් නව තාක්ෂණය විසින් අළුත් අවස්ථා වෙතට සමාජය පොළඹවන බවයි. යළිත් මිනිස් චින්තනය ප්‍රමුඛ කරන, වේගයෙන් දුව යාම වෙනුවට මඳක් නැවතී සිතා මතා කරන කියන වැඩවලට ඉල්ලුමක් ලැබෙන බවයි.
AI යනු තාක්ෂණික මෙවලමකි. එයින් වැඩ ගත යුතුය. ඒ සඳහා AI ගෙන් හැම දේම විමසා බලා ක්‍රියාවට නැංවීම තාක්ෂණයේ වහලෙක් වීමකි; කළ යුතුව ඇත්තේ තාක්ෂණය වහලා බවට පත් කර ගැනීමයි. තණ්හාව පෙරටු කොට සමාජය දුව යන තරමට තාක්ෂණයේ වහලෙකු වීම වැළක්විය නොහැකිය. තාක්ෂණයෙ වහලකු නොවිය යුතු බව දැන් AI විසින්ම පැහැදිලි කර දෙනු ලබයි.
AI තාක්ෂණයෙන් වැඩ ගැනීමට ප්‍රබල ප්‍රශ්න කිරීමක් අවශ්‍ය වෙයි. එසේ ප්‍රශ්න කරන හැකියාව ඇති වන්නේ කියවීම, සිතීම ලෙස මොලය වෙහෙසා ක්‍රියාත්මක වීමෙනි. AI වේගය මිනිස් මොලයට විවේකයක් දී ක්‍රමාණුකූලව මොලය අක්‍රීය කරවනවාය කියන විවේචනය මිනිසාට ජය ගන්න්ට ඇති අභියෝගයි. ඉවසීමට, නැවතීමට විවේකය අවශ්‍යමයි. AI දැන් එම විවේකය ලබා දෙයි. එනම් දැන් සිතීමට වෙලාවක් ලැබෙයි. කටපාඩම් අධ්‍යාපන ක්‍රමය අහුරා ගත් විවේකය AI නිසා ලැබෙන බව දැන සිටීම වැදගත් ය. AI යුගයේදී සාහිත්‍ය කලාව වැදගත් වන්නේ මේ අනුවයි. කියවීම, සිතීම, නිර්මාණාත්මක ලිවීම නැතිව AI වෙතින් වැඩ ගැනීමට යාමේදී එහි වහලෙකු වීම වැළක්විය නොහැක.
වෙදකම සමඟ හෙදකමද වැදගත් බවත් හෙදකම AI හට අත්පත් කර ගන්නට අසීරු මිනිස් චින්තනයේ අපූරුව බවත් AI වෙතින්ම කියවා ගත හැකිය. විශේෂඥභාවයෙන් තොර වෛද්‍ය වෘත්තියේ පමණක් නොව මාධ්‍ය භාවිතය, නීති අංශය, ගනකාධිකාරි රැකියා ආදීය කලකදී ගාම්භීර වෘත්තීන් ලෙස සැලකුව ද ඒ හැමතැනකම වාගේ ‘ගිරා පෝතක’ හිස් බව මිස නිර්මාණාත්මක යමක් නැති බව දැන් AI තාක්ෂණය නිසා හෙළිදරව් වෙමින් ඇත.
දැන් ඔබ මඟ දනී; බැදිවල ගොස් මංමුළා විය යුතු නැත. ඔබට සිටින හොඳම විමසන්නා AI බව පිළිගන්නට සිදුවේ; ඊට වහල් නොවීමට ඔබ දැන සිටිය යුතුය. ප්‍රශ්න කරන චින්තන හැකියාවට සාහිත්‍ය කලාව වැදගත් වන බැවින් විද්‍යා විෂයයන්ට දී තිබුණු අනවශ්‍ය පිළිගැනීම හෝ වටිනාකම හෝ AI නිසා ම අහෝසි වෙමින් ඇත.




Comments