top of page

AI යුගයේ සැබෑ බලය: "තමන්කඩුව" දැන සිටීම

AI තාක්ෂණය දැනුම නොමිලේ සපයයි. එහෙත් හරිම පිළිතුර ලබා ගන්නේ හරිම ප්‍රශ්නය ඇසිය හැකි අයට පමණි. ඒ හැකියාව — ප්‍රඥාවන්ත විමසීම — තමන්කඩුව භාවිතය වැනිය.


"තමන්කඩුව" — ජය ගත් ප්‍රඥාවේ කතාව

'තමන්කඩුව' ප්‍රදේශ නාමය බිහි වූ ආකාරය ගැන කියැවෙන ජන කතාවකට අනුව, මහා පරාක්‍රමබාහු රජු සතුරා පරාජයට පත් කළේ 'තම කඩුව' අතට ගත් පසුවලු. 'තමන්කඩුව' වී ඇත්තේ 'තම කඩුව' ගත් තැනයි.

සතුරා සමඟ යුදවැදී සිටියදී යම් අවස්ථාවක තම සේනාව අඩපණ වෙන බව රජුට නිරීක්ෂණය වෙයි; පසමිතුරු කණ්ඩායම සතුව තිබුණේ ද සමාන ආකාරයේ කඩු වුණත් ඔවුන්ගේ පැත්තට ජයග්‍රහණය කැරකෙන්නට පටන්ගෙන ඇත. එදත් ආයු වෙළෙන්දා දෙගොල්ලටම ආයුද විකුණුවා විය හැකිය. තම සේනාවේ පසු බැසීම දුටු පරාක්‍රමබාහු ක්ෂණිකව අනපේක්ෂිත තීරණයක් ගත්තේය. ඊට 'ස්ථානෝචිත ප්‍රඥාව' යැයි ද කිව හැකිය. එතෙක් ඔහු අනුගමනය කළ, කල් තියා ඔත්තු බලා සකස් කළ යුද සැලසුම් අබිබවා මෙම අනපෙක්ෂිත පියවර යුද්ධයේ දිශාව තීරණය කළේය. 'මට අපේ කඩුවක් දියව්' කියා රජු විධානයක් කිරීම අනපේක්ෂිත කල්පනාව ප්‍රායෝගික වූ ආකාරයයි. වහාම දේශීය කම්හල්වල නිපදවෙන කඩු යුද භූමියට සැපයිණි. රජු 'තමන්ගේ කඩුව' අතට ගත්තාට සමාන්තරව සේනාවද එසේ කළහ. අලුත් කඩුවෙන් කැපැන්නට වූ විට යුද්ධයේ වාසිය රජුගේ පැත්තට කැරකුණි. ක්ෂණිකව කඩුව මාරු කිරීමෙන් සතුරු සේනාවට අලුත් කඩුවේ මුවාත නුහුරු වෙයි. තමන්ගේ කඩුව කෙරෙහි රජු දැක්වූ විශ්වාසයෙන් උද්දාමයට පත් සේනාව අලුත් කඩුව හසුරුවන ආකාරයද වෙනස් වෙයි. රජුගේ අනපේක්ෂිත තීරණය නිසා සිදු වූ වෙනස සතුරු සේනාවට අභියෝගයක් වෙයි. පරාක්‍රමබාහු සටන් කළ පෙර කඩුව ගැන ආයුද වෙළෙන්දා සතුරාටත් තොරතුරු ලබා දී තිබුණානම් දැන් එම ඔත්තුවලින් වැඩක් නැති වෙයි. සතුරාට පරාජය අත්කරමින් පරාක්‍රමබාහුගේ සේනාව ජය ලැබීය. රජු එදා තමන්ගේ කඩුව ඉල්ලා සිටි ප්‍රදේශය 'තමන්කඩුව' ලෙස වහරට එක් වූ බවයි ජන කතාවෙන් කියැවෙන්නේ. දේශීය වාරි තාක්ෂණයේ අනන්‍යතාව හා අභිමානය දක්වන පරාක්‍රම සමුද්‍රයත් බෞද්ධ සංස්කෘතියේ ඓතිහාසික සාධකයක් හෙවත් 'ඉතිහාස තිතක්' වන ගල්විහාරය පිහිටා ඇත්තේත් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය.


AI දමනය: අද අප කරන යුද්ධය

වර්තමානයේ මුහුණ දෙන්නට ඇත්තේ මුහුණට මුහුණලා කරන යුද්ධවලට නොවේ; AI සමඟ වැඩ කිරීමත් එවැනි යුද්ධයකි. අප කැමති වුව ද අකමැති වුව ද AI තාක්ෂණය අප ජීවිතයට කඩා වැදී ඇත; AI තාක්ෂණයට මුහුණ දීමත් එක අතකට යුද්ධයක් බඳුය AI සතුරකු නොවූව ද ජනනීය AI අපගේ ස්වාමියා හෙවත් අප පාලනය කරන්නාගේ තැනට පැමිණිම වැළක්වීම වෙනුවෙන් යුද්ධයක් කරන්නට සිදුවෙයි. AI සේවකයා හෝ උදව්කරුවා හෝ යන සීමාවේ තබා නොගෙන AI තාක්ෂණයට අප වහල් වෙනවාද එසේ නැතිනම් එයින් වැඩ ගන්නාවද යනුවෙන් දැන් අපට අප සමඟම කරන යුද්ධයක් ඇත. මේ සඳහා අවශ්‍ය වන්නේ ස්ථානෝචිත ප්‍රඥාව පමණක්ම නොවේ; ඉවසීමත් එකී යුද්ධය ජය ගැනීම සඳහා අවශ්‍ය හොඳ ආයුධයකි.


දැනුම තව දුරටත් බලය නොවේ — ප්‍රශ්නය කිරීම බලය වෙයි

ජනනීය AI (GenAI) දක්වා තාක්ෂණය වැඩුණේ 'දැනුම බලය' කර ගෙන, හැම විටම එවැනි ඉලක්කයක් ඇතිවයි. ජනනීය AI නිසා 'දැනුම' තව දුරටත් 'බලය' වීම වලංගු නොවේ. නිදසුනකට, විෂය කරුණු කටපාඩම් කරමින් විභාග සමත් වීම තව දුරටත් 'සොරෙකුටවත් ගත නොහෙනා' වටිනාකමක් වන්නේ නැත. ජනනීය AI විසින් දැනුම අසීමිතව නොමිලේම සපයනු ලබයි. මින් ඉදිරියට බලය බවට පත් වන්නේ දැනුම ගබඩාවෙන් අවශ්‍යම දේ විමසා පෙරා ගන්නට හැකි කුසලතාවයයි. එය සරල විමසීමක් නොව ප්‍රඥාවන්ත විමසීමක් විය යුතුය. එම ප්‍රඥාවන්ත විමසීම 'ප්‍රොම්ටින්' යනුවෙන් හඳුන්වමු.


"තමන්කඩුව" ප්‍රශ්නය: සාමාන්‍ය කඩුව හා විශේෂ කඩුව

ඔබ දන්නවාද! AI වෙතින් ඔබ යමක් විමසන විට එයින් ලැබෙන්නේ මුලු ලෝකෙටම පොදු විසඳුමකි. 'ප්‍රඥාවන්ත විමසීම' තිබිය යුතු වන්නේ ඔබේ ගැටලුව විසඳන්නට හැකි හරිම පිළිතුර හෙවත් විශේෂ විසඳුම ලබා ගැනීමටයි. යුද්ධයකදී භාවිත කරන හැමෝම දන්නා සාමාන්‍ය කඩුවක් වැනි සරල ප්‍රශ්නය වෙනුවට අඩුම තරමින් මුවඅතේ වෙනසක් සහිත 'තමන්කඩුව' භාවිතය වැනි විශේෂ ප්‍රශ්නයක් ඇසීමට ඔබ දැන සිටිය යුතුය.


නිදසුනක් ලෙස: සාමාන්‍ය ශිෂ්‍යයෙකු AI වෙතින් විමසන්නේ "විද්‍යා විෂය සඳහා හොඳ study tips මොනවාද?" යනුවෙනි. AI ලෝකෙටම එකම පිළිතුරු දෙයි. නමුත් 'තමන්කඩුව' දන්නා ශිෂ්‍යයා විමසන්නේ "ශ්‍රී ලංකා සා/පෙළ විද්‍යා විෂය නිර්දේශයේ 3 වන ඒකකයේ ගතිකය පිළිබඳ ප්‍රශ්නවලට NIE ලකුණු දීමේ ක්‍රමවේදයට අනුව ලකුණු ලබා ගත හැකි කෙටි පිළිතුරු ව්‍යූහය පැහැදිලි කරන්න" යනුවෙනි. දෙවැනි ප්‍රශ්නයෙන් ලැබෙන්නේ ඔහුගේ/ඇයගේ හරිම කඩුවයි.


ඉතිහාසය, කියවීම, ලිවීම — AI යුගයේ ඔබේ ආයුධ

දැනුම අමිල නොවන පසුබිමක ගැටලුවට විසඳුම සාර්ථකව ලැබෙන්නේ හා ඔබේ ප්‍රඥාවන්ත විමසුමට වටිනාකමක් ලැබෙන්නේ, අනපේක්ෂිත කල්පනාවකින් හෝ දුර්ල පරිකල්පනයකින් හෝ ඔබේ විමසීම හෝ ප්‍රශ්න කිරීම හෝ සන්නද්ධ වන තරමටයි; 'තමන්කඩුව' භාවිතය මෙන් ඔබටම අනන්‍ය ලෙස AI වෙතින් විමසන්නට දැන සිටින තරමටයි. ඒ සඳහා අවශ්‍ය සාධක අතර ඉතිහාසය දැන සිටීම හෙවත් 'ඉතිහාස තිත' ගැන අවබෝධය ඉතා වටී. හරස් ප්‍රශනය සඳහා AIට නුහුරු දැනුමකින් සන්නද්ධ වීමට අවශ්‍ය වන අතර ඉතිහාස කතාව ඊට නොමඳ අනුබලයක් දෙයි. කියවීම, ලිවීම, ඉතිහාස කතාව දැන සිටීම හා එළඹගත් සිහියෙන් යුතු වීම වෙනුවෙන් මිලක් අය කළ හැකි අවස්ථාවකුයි මේ උදා වන්නේ! ප්‍රඥාවන්ත වන්නේ නම් ඩිජිටල් යටත්විජිතයෙන් නිදහස්ව AI තම කලන මිතුරා කර ගත හැකිය.


ඉඩසර ඇකඩමිය ශිෂ්‍යයාට AI ලෙස භාවිත කරන ආකාරය — 'තමන්කඩුව' ප්‍රශ්නය ඇසීමේ කුසලතාව — ඉගෙනීමේ ගමනේදීම ගොඩ නගයි. academy.idasara.org


Comments


bottom of page