top of page

‘අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී’

මුනිදාස කුමාරතුංග වියතානන් පරිකල්පනයේ වටිනාකම පහදමින් ‘කව් කරන්නේ - අළුත් දෑ සිත්හි නිපදවයි, සිතින් නිපදවන්නේ - අතින් නව දෑ තනයි’ යනුවෙන් ලීවේය. ‘අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී - හිඟාකෑම බැරිවුණ තැන ලගියි ගයා මර ගී’ යනු එහිම දිගුවකි. වාණිජයන් නැතහොත් ව්‍යවසායකයන් ගැනත් නිශ්පාදන ආර්ථිකය ගැනත් ඔහු එදා කවි බසින් කී අයුරු එසේය. ඔහුගේ හෙළ මියැසියේ එන,

‘මිනි විලූ පිළිය

ඇඟ නොලා මැළිය

පිට රටින් විළිය

වැසුම නැහැ එළිය’

කවියෙන් පවසන්නේද එයයි; නිශපාදන ආර්ථිඅකය ගැනයි.

අතීතයේ මුල් බැස, වර්තමානයේ දියුණු වෙමින්, අනාගතයට මං පාදමින්.
අතීතයේ මුල් බැස, වර්තමානයේ දියුණු වෙමින්, අනාගතයට මං පාදමින්.

වාණිජයා හෙවත් ව්‍යවසායකයා යනු හැම විටම අළුත් දෑ තනන්නෙකි. අළුත් දෑ තනන්නට පළමුව අවැසි වන්නේ කවි සිතිවිල්ලක් හෙවත් අළුත් අදහසකි. එනම් කුමාරතුංග වියතා තව අතකින් කියා ඇත්තේ නිශ්පාදන ආර්ථිකය ගැනයි. සුබසාධන ආර්ථිකයකින් අනුබල දෙන යාචක මානසිකත්වයකට තම දියුණුව හෝ රටේ දියුණුව හෝ අත්පත් කර ගත නොහැකිය යන්නයි.

නව ව්‍යාපාරයක් හෝ නව නිශ්පාදනයක් හෝ ආරම්භ කරන්නට පළමුව අවශ්‍ය වන්නේ සමාජයට දැනී ඇති ගැටළුවක් හඳුනා ගැනීමය. ගැටළුවට විසඳුම එන්නේ අළුත් අදහසකිනි. තව අතකින් එය පරිකල්පනය හැටියටත් දැක්විය හැකිය. AI යුගයට සාහිත්‍ය කලාව අවශ්‍යම බව එයිනුත් තහවුරු වේ. සාහිත්‍ය කලාව පරිකල්පනයේ ඵලයකි.

කොමිස් ලාභ මත කෙරෙන ගැණුම් විකිණුම් ගණුදෙනු ද නිශ්පාදන ආර්ථිකය නොවන බව වටහා ගැනීම මෙහිදී වැදගත්ය. ගැණුම් විකිණුම් ගනුදෙනුවක බොහෝ විට ඇත්තේ නිශ්චිත කොමිස් ලාභයකි. එහෙත් නිශපාදන ආර්ථිකයක ලාභය සමස්ථ සමාජයම ආර්ථිකව බලගන්වන බහුවිධ ලාභ පෙන්වයි. නිදසුනකට මීමැසි පාලනය ව්‍යාපාරයක් විදියට පවත්වා ගන්නා විට එහි ඇත්තේ පැණි ලැබෙන ලාභය පමණක් නොවේ. මීමැසි ගහනය ඉහල යන විට පරාගනය ද හොඳින් සිදුවෙයි. අඩි තිහකට වඩා උසට පියාඹා යන මීමැස්සා නිසා පොල්ගසේ පරාගනය හොඳින් සිදුවී පොල් පළදාව ඉහළ යයි. පැණිවලින් ලැබෙන මුදල් ලාභයට අමතරව මී පැණි භාවිතයෙන් සමාජය සෞඛ්‍ය සම්පන්න වේ. අළුත් දෑ තනන විට එවැනි බහුවිධ ලාභයක් ජනිත වේ. නිශ්පාදන ආර්ථිකයක බිකරන වාණිජයා හෙවත් ව්‍යවසායකයා රටට දැයට අත්‍යවශ්‍යම අයෙකි.

 

 

 
 
 

Comments


bottom of page