top of page

භාෂාව, සාහිත්‍ය කලාව AI යුගයට අවශ්‍යද?

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන එක් රාජ්‍ය සාහිත්‍ය උත්සවයකදී ‘සාහිත්‍ය කන්ඩද’ යනුවෙන් විමසීම, සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට තුඩු දිණි. රටට විවෘත්ත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමට මුල් වූ ඔහු එයින් ප්‍රශ්න කළේ මූල්‍යමය ඉපයීමකට, වෘත්තීයමය මඟ පෙන්වීමකට අනුබල නොදෙන අධ්‍යාපන ක්‍රමය ගැනයි.

ගමේ තරුණ තරුණියන්ට රැකියාවක් සොයා ගැනීමට ප්‍රාදේශීය දේශපාලකයාගේ හෝ ප්‍රභූ අනුකම්පාව හෝ ලැබිය යුතුය යන වැඩවසම් බැඳීම් බිඳ දැමුවේ ‘සමසමාජ දේශපාලනය’ නොවේ; එම බැමි බිඳිනු ලැබුවේ තොරතුරු තාක්ෂණය විසිනි. වසර 2000ට පසුව ශ්‍රී ලාංකික සමාජය එකී නවෝදය අත්විඳී. එහෙත් එම නවෝදය ගැන කතිකාව ඍනාත්මක දෙසට නැඹුරුව පවතින අතර සාහිත්‍ය කලාව, භාෂාව සංස්කෘතිය, සදාචාරය ආදී දේ පිරිහෙන බවට අඳෝනාම නැඟිනි; විවෘත්ත ආර්ථිකය රට විනාශකරනවාය කියනවා මෙනි.

කියවීම, ලිවීම, චිත්තරූප මැවීම දැන ගන්නා තරමට AI වලින් ප්‍රයෝජන ගත හැකිය
කියවීම, ලිවීම, චිත්තරූප මැවීම දැන ගන්නා තරමට AI වලින් ප්‍රයෝජන ගත හැකිය

විවෘත්ත ආර්ථිකය මෙන්ම තොරතුරු තාක්ෂණය තනි රටකට ලෙහෙසියෙන් ප්‍රතික්ෂේප කළ නොහැකි ගෝලීය ප්‍රවණතාය. ලංකාව වැනි නිශ්පාදන ආර්ථිකයක් ගැන නොදන්නා රටකට එයින් කෙසේවත් බේරීමට නොහැකිව තිබිණි. අනෙක, ප්‍රවණතා ඇතිවීම නතරවන්නේද නැත. තොරතුරු තාක්ෂණයේ නවතම පියවර AI හෙවත් කෘතිම බුද්ධියයි. අධ්‍යාපන අවස්ථාවේ සිට රාජ්‍යකරණය දක්වා තවම AI ගැන දකින්නේද විවෘත්ත ආර්ථිකයට බිය වූ ස්වරූපයෙනි; එහෙත් ඇත්තම කාරණය වන්නේ AI යනු අඩු ආර්ථික වැයකින් වැඩි ලාභයක් පහසුකමක් සපයා දෙන්නකි; AI වෙතින් වැඩ ගන්නටනම් අවබෝධයක් තිබිය යුතුය. වැදගත්ම කාරනය වන්නේ ඒ සඳහා සාහිත්‍ය කලාව, භාෂාව, නිර්මාණාත්මක පරිකල්පනය අත්‍යවශ්‍ය බවයි. එනම් ‘විභාගය පේල් වුණත් මොකද සයන්ස් කරල’ කියා අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති මිත්‍යා විශ්වාසය AI විසින් අනෙක් පස පෙරළනු ලබමින් ඇත.


මිනිසා සතු මානුෂීය හැඟීම් සහ පරිකල්පන ශක්තිය AI ට අභිබවන්නට නොහැක. එහෙත් විශේෂයෙන්ම පරිකල්පනය සඳහා අවශ්‍ය දැනුම හෝ දත්ත හෝ මිනිසාට වඩා වේගයෙන් AI ට එකතු කර දිය හැක. එකී වේගයෙන් හා දත්තවලින් නව නිර්මාණයක් කරන්නටනම් AI වෙතින්  නිවැරදිව ප්‍රශ්න කරන්නට මිනිසාට හැකියාව තිබිය යුතුය. චිත්තරූප මවන්නට වුවමනාය. එම හැකියාව ලැබෙන්නේ පළල් අවබෝධයෙනි; පොතපත කියවීමෙනි. ‘කියවීම  මිනිසා සම්පූර්ණ කරයි’ යන්න AI යුගයේදී තව තවත් තහවුරු වනවා මිස අවලංගු වන්නේ නැත. එයින් හොඳින් ප්‍රයෝජන ගැනීමට හැකි වන්නේ ඉතිහාසය සම්ප්‍රදාය සංකෘතිය මත පිහිටා අනාගතය දෙස දකින තරම අනුවයි. පෙර ඉතිහාස ලක්ෂය ගැන සැලකීමක් නැති ‘ටික් ටොක්’ සමාජයට නම් AI භයානක විය හැකිය.


කැපෙන පිහිය උපකරණයකි. එය එදිනෙදා ජීවිතය පහසු කර ගන්නට භාවිත කරනවාද නැතිනම් ගෙල සිඳගන්නට භාවිත කරනවාද යන්න පුද්ගලයා සතු නැඹුරුවකි; තීරණයකි. AI යනු භාවිතා කරන්නට දැන ගතහොත් තම ජීවිතය පහසු කර ගන්නට ලැබෙන බලවත් උපකරණයකි. ස්මාර්ට් දුරකතනය අතට ලැබෙද්දී ‘කොටන්නට’ පමණක් දැන සිටීම හෝ ඊට කැමතිවීම එක්තරා ආකාරයකට සැනසිලිදායක ජීවිතයේ ගෙල සිඳ ගැනීමකි; එහි ඇති ජීවිතය පහසු කරන ඩිජිටල් අත්වැල බහුතරය අවබෝධ කර ගත්තේ නැත. AI භාවිතයේදී ද එයම සිදුවිය හැකිය. කියවීම, ලිවීම, චිත්තරූප මැවීම දැන ගන්නා තරමට AI නැමති බලවත් උපකරණයෙන් ප්‍රයෝජන ගත හැකිය.

විශ්වවිද්‍යාලයේ ‘සයන්ස් ෆැකල්ටිය’ ප්‍රමුඛ නොකර ‘ආර්ට් ෆැකල්ටිය’ නිසි තැන ලැබන යුගයක් AI විසින් සම්පාදනය කරනු ලබනු ඇත. 

 
 
 

Comments


bottom of page