top of page

‘මේ ගත්ත මේ නැහැ’ කියමනට තිත!

මාසික වැටුපට පසුව හෝ දිනපතා වියදම ගැන හෝ කියැවෙන ‘මේ ගත්ත මේ නැහැ’ යන සුසුම් වැකිය, ලංකාවේ බහුතර පවුල් සංඛ්‍යාවකට පොදු වූ මූල්‍ය අසහනය එළි දක්වයි; පවුලේ මූල්‍ය අස්ථාවරභාවය ගැන දැන ගන්නට ඊට වඩා සාධකයක් අවැසි නොවේ. පවුලේ සමස්ථ මූළ්‍ය ගැටළුව ම එයින් කියැවෙයි. මෙම ගැටළුව විසඳා ගන්නට අවශ්‍ය පළමු පියවර හැටියට ‘ඉඩසර’ යෝජානා කරන්නේ නිවසට හෝ පවුලට හෝ මූල්‍ය බලධාරියකු හෙවත් ‘මුදල් ලොක්කා’ පත්කර ගැනීමයි. දැනටමත් එවැනි කෙනෙකු සිටී; නාම ගැන්වී නැති ඇය, ගෘහණිය හෝ අම්මා ය. එනම් පවුලේ ප්‍රධාන මූල්‍ය නිලධාරණිය වනුයේ (Home CFO) අම්මාය. පවුලේ ආදායම හා වියදම ගැන හරියටම දැන සිටින්නේ අම්මා ය.

පවුලේ ආර්ථික ස්ථාවරභාවය ලෙස ‘ඉඩසර’ සලකන්නේ අදායම හා වියදම හෙවත් පවුලේ අයවැය සමබර කර ගැනීම ම නොවේ; ‘සංස්කෘතික මිනිසා’ ගැනද අවධානය යොමු කෙරේ. ආහාර, සෞඛ්‍ය, නිවාස සහ අධ්‍යාපනයත් ඉතිරිය, අදායම, වියදම සහ ආයෝජනයත් මූල්‍ය ස්ථාවරභාවයට අදාළ පදනම් සංකල්ප වේ.

කලකට පෙර ලංකාවේ නිවසට පොදු අපූරු ඉතිරි කිරීමක් මෙතනදි සිහිපත් කර ගැනීම වටී. රාත්‍රී ආහාරයට පසු බත් මුට්ටියේ ඉතිරිය පසුවදාට සූරා අහක දැමුවේ නැත. වතුර දමා තිබූ ඉතිරි බතට පොල්, ළූණු හා ලුණු මිශ්‍ර කර උදෑසනට ‘දියබත්’ ආහාරයට ගත්තේය; මෙය මොනතරම් සෞඛ්‍ය සම්පන්න ඉතිරි කිරීමක් ද කියතොත් බෝනොවන රෝග ආරම්භයේදීම වළක්වා ගන්නට හේතු විණි. එතැන කළමණාකාරිණිය වී සිටියේ අම්මාය. පවුලේ කෙනකු වෙනුවෙන් බෝනොවන රෝගයකට කරන්නට තිබුණු වියදමක් ඇය ආරම්භයේදීම වළක්වා ගත්තාය.

‘මේ ගත්ත මේ නැහැ’ කියමින් නිවසේ වියදම ගැන හූල්ලන්නට පෙරාතුව, දිනකට, සතියකට, මාසයටම ඉපැයෙන පවුලේ අදායම, අම්මාගේ අතට ලැබුණු සැණින් කල්පනාවට ගත යුතු දෙයක් තිබේ. ‘නිවසේ ප්‍රධාන මූල්‍ය බලධාරිණිය’ හැටියට අම්මාට එම වගකීම පැවරේ. ඒ අන් කිසිවක් නොව පවුලට ලැබෙන ආදායමෙන් යම් මුදලක් ඉතිරි කිරීමය. මේ ගැන කල්පනා කළ යුතු වන්නේ, ‘ලැබෙන ආදායම වියදමට ගෑවෙන්නවත් මදිව ඉතිරි කරනව තියා ඒ ගැන හිතන්නවත් පුළුවන්ද’ යනුවෙන් මෙහිදී වැඩි දෙනකු නඟන පැනය පැත්තකට කරමිනි. පවුලේ වියදම අයාලේ යා නොදී කළමණාකරණය කියන තැනින් හිතනවානම් එවැනි ප්‍රලාප අදහස්වලට යට වීමෙන් බේරී සිටිය යුතුය.

  1. මූල්‍ය බලධාරිණිය ලෙස අම්මාට ගෙවීමක්: පවුලේ අයවැය කළමනාකරණය කර දීම වෙනුවෙන් ගෘහණිය හෝ අම්මා හෝ තමන්ට ගෙවීමක් කර ගත යුතුය. ඒ වෙනුවෙන් යම් මුදලක් පවුලේ වියදමට ලැබෙන ආදායමෙන් වෙන් කර ගත යුතුය. එසේ තමන්ටම ගෙවා ගැනීම හෙවත් මුදලක් වෙන් කර ගැනීම යනු පළමු ඉතිරි කිරීමයි. ඊළඟ මාසයේ ආදායම අහිමි වීමක්, අඩුවීමක්, හිඟපාඩුවක්, හදිසි වුවමනාවක් ආදී එවැනි කවර හෝ අවශ්‍යතාවයක් වෙනුවෙන් ශක්තියක් ඉතිරිකිරීමකින් ලැබේ. වියදමට කලින් යම් මුදලක් ඉතිරි කිරීම මූල්‍ය බලධාරිණියගේ වගකීමකි.

  2. මුදල් ඉලක්කමක් මෙන්ම ඉලක්කයක්: ඔබ කල්පනා කළාද! දුරකතන සමාගම් මිලියන ගණනින් ලාබ උපයන්නේ, ඔබේ දුරකතනයට ඔබ වියදම් කරන රුපියල් 99ක ‘ඩේට පැකේජය’ නිසාය. දිනක ආදායමෙන් ඔබ රුපියල් 100ක් ඉතිරි කළොත් එම ඉලක්කම දවසක මිලියනයක ඉලක්කයක් සපුරාලනු නියතයි. වියදමට කලින්ම එම මුදල ඉතිරි කිරීම පවුලේ මූල්‍ය බලධාරිණිය සිය කළමණාකරන හැකියාව විදහා පෑමකි. ඉතිරි කරන්නට අළුතින් ආදායමක් එකතුවෙනතුරු සිටිය යුතු නැත.

  3. ණය නොවීමේ අධිෂ්ඨානය ප්‍රායෝගික ක්‍රියාකාරකමකට හැරවීම: පවුලට ලැබෙන ආදායම වියදම් වෙන ආකාරය ගැන සටහන් තබා ගැනීම අත්‍යවශ්‍ය ක්‍රියාකාරකමකි. ‘කකෙයිබෝ’ නම් ජපන් ක්‍රමය නිදසුනකි. මාසයකට වියදම් කළ යුතුම දේ කවර කිහිපකින් නම් කොට ආදායම බෙදා එම කවරවලට දමනු ලබේ; මාසය නිම වීමට පෙර කවර හිස් වෙන ලකුණු පෙනේ නම් වියදම පාලනය කර ගැනීමට යුහුසුළු වේ. නිදසුනකට ආහාර සඳහා වෙන් කළ මුදල කල් තියා වියදම් වෙන ලකුණු පෙනෙයි නම් විනෝදාංශයක් වෙනුවෙන් වෙන් කළ මුදල ආහාර සඳහා ගනු ඇත; කරන්නම දෙයක් නැතිනම් ආහාර මිල දී ගැනීම අඩු වියදමකට හැරවීම ගැන කල්පනා කරයි. මස්, මාළු, ටින් මාළු ආදිය වෙනුවෙන් වියදම් නොකර පෝෂණය ඉලක්ක කරමින් විකල්ප අඩු වියදම් ආහාර වෙතට මාරු විය හැකිය. බිත්තර හෝ පොලොස් හෝ වැනි විකල්ප අහාර පෝෂණය සම්පූර්ණ කරන අතර වියදම අඩු කර දෙයි.

  4. ලැබෙන ආදායම ඇතුළේම ආයෝජනයත් පුළුවන්: අම්මා නිවසේ රැඳී සිටින්නියයි. ඇය නිරත වන්නේ පැය අටේ සේවයක නොවේ. තම සේවයට ගෙවා ගන්නා මුදල ආයෝජනයකට හැරවිය හැකිය. නිවසේ ආහාර පිසීම අනිවාර්ය අංගයක් නිසා එයම ව්‍යාපාරයකටත් හරවා ගත හැකිය. බෝ නොවන රෝග බහුල පාරිභෝගික සමාජයට සෞඛ්‍ය සහ පෝෂණය ඉලක්ක කරන ආහාර වේලක් විකිණීම ව්‍යාපාරයකි. ඒ සඳහා අළුත් වෙළඳසැලක්, ඒ වෙනුවෙන් තවත් පහසුකම් ආදිය අවශ්‍ය නැත. නිවසේ කුස්සියම ඒ සඳහා යොදා ගෙන දිනකට විශේෂ කෑම පාර්සල් දහයක් විකිණීමට සැලසුම් කළ හැකිය. බෝනොවෙන රෝග වළක්වන විශේෂ ආහාර වේලක් අවංකවම ලබා දීම වෙනුවෙන් සාමාන්‍ය වෙලඳපොළේ බත් පාර්සලයක් අළෙවි කරන මිලට වඩා වැඩි මුදලකට එය විකිණිය හැකිය; එය මිල දී ගැනීමට විශේෂ පාරිභෝගිකයෙක් ඔබට මුණගැසෙනවාද ඇත.

  5. ඉතිරිකිරීමෙන් නොදැනීම ලැබෙන අමිල ලාභය: ඉතිරිකිරීමක් ඇති විට හා එයින් ආයෝජන අවස්ථාවකට යන විට පොලිය හෝ මුදල් ලාභය හෝ ලැබෙනාවට අමතරව නොදැනීම ඔබට තවත් ලාබයක් ලැබෙයි. ඒ අන් කිසිවක් නොව මනසට ලැබෙන සහනයයි. ගෘහණියට හෝ අම්මාට හෝ ලැබෙන ඒ මානසික සහනය පවුලේම මානසික සහනයට හේතු වෙයි. පවුල මානසික සුවයකට යනවා යනු රටම එතැනට හැරී යයි. ‘බාලිකා ලොව මැළවෙන දා මුළු ලොවටම රෑ වෙනවා’ යන්න වෙනස් කරන්නට හැකි අවස්ථාවක් වන්නේ පවුලේ මූළ්‍ය බලධාරිණිය පළමුව මනසින් සුවපත් වීමයි.

පවුලේ මූල්‍ය බලධාරිණිය බලගැන්වීම වෙනුවෙන් ‘ඉඩසර’ නොමිලේ ලබා දෙන වැඩමුළුවේදී ඔබට මේ ගැන ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සහිතව දැනුම්වත් වීමට අවස්ථාව ලැබෙනු ඇත.

 

 

 

 

 

 
 
 

Comments


bottom of page