top of page

මුදල් උපයන්නේ නැතිවත් ඉතිරි කරන, ආයෝජනය කරන රහස!


මුදලක් උපයන්නේ නැතිව ගෙදර හා දරුවන්ගේ වැඩ කටයුතු බලා කියා ගන්නා අම්මාට හෝ ගෘහණියට හෝ මුදල් ඉතිරි කරන්නියක් මෙන්ම ආයෝජකයෙක් විය හැකි බව දන්නවාද? මුදලක් උපයන්නේ නැතිව එසේ කළ හැකිද යන ප්‍රශ්නය නිතැතින් නැඟෙන නමුත් එසේ කළ හැකිය. ඇයගේ ඉතිරි කිරීම හා ආයෝජනය දිගුකාලීන වන අතර බලවත් මෙන්ම ශක්තිමත්ය. එසේ වන්නේ ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන තරමටයි. තමන් එසේ කරනවාය කියන දැනුම්වත්භාවය ඇති විටයි. ඉතිරි කිරීම හා ආයෝජනය මොන අතින් බැලුවත් මූල්‍ය ස්වාධීනත්වයට මඟක් වන අතර මුදලක් උපයන්නේ නැති විටත් එසේ කරන්නට හැකි ඉඩක් තිබීම අවධානයට ගත යුතුම අවස්ථාවකි.

මුළින්ම ඉතිරි කිරීම ගැන අවධානය යොමු කරමු. සෞඛ්‍යසම්පන්න ජීවිතයකට ආහාරවලට පසු පළමුව අවශ්‍ය වන්නේ බෙහෙත් හෙවත් ඖෂධ වේ. ආහාරවලට මෙන්ම ඖෂධවලට ද මුදල් වැය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. නිවසේ පියා හෝ ගෘහමූලිකයා විසින් රැකියාවකින් උපයනු ලබන මාසික වැටුපෙන් ආහාර හා ඖෂධ සඳහා වැය වෙන මුදල් කළමණාකරනය කරනු ලබන්නේ අම්මා නැතිනම් ගෘහණිය විසිනි. හදිසි ව්‍යසනයකදී හැර ශරීර සෞඛ්‍ය ‍යහපත් කර ගැනීම පිණිස වැඩි මුදලක් වැය කරන්නට සිදුවන්නේ ආහාර රටාවේම ප්‍රථිපළයක් වන රෝග සඳහාය; විශේෂයෙන්ම බෝ නොවෙන රෝග සඳහාය. දිය වැඩියාව, රුධිර පීඩනය, කොරොස්ට්‍රෝල් යන බෝ නොවන මාරාන්තික රෝග හටගැනීම ආහාර රටාව මත රඳා පවතී.

Silent Financial Architect of the Home
Silent Financial Architect of the Home

බෝ නොවෙන රෝග සඳහා නිශ්චිත බෙහෙත් වට්ටෝරුවක් මාසිකව මිල දී නොගන්නා නිවසක් අද රටේ නැති තරම් වන අතර බඩ ගින්න නිවා ගනු පිණිස වැය කරන ලෙසම අනිවාර්ය වියදමක් ඊට වෙන් කළ යුතුව ඇත. එම වැය කිරීමට පදමනම වැටුණේ වැරදි ආහාර රටාවකින් බව අවබෝධයට ගත්තේ කීයෙන් කීදෙනාද? එනම් හුඟක් බෝ නොවන රෝග අප ලබා ගෙන ඇත්තේ මිලක් ගෙවමනි. ලෙඩ බෝ කරන ආහාර වෙනුවෙන් මුදලක් ගෙවූ බැවිණි. පසුව එම රෝග සමනය කර ගැනීම පිණිස තව මිලක් ගෙවයි. දහසක් අවශ්‍යතා මැද සීමිත වැටුපෙන් බෙහෙත් සඳහා ද මුදලක් වෙන් කරයි.

ක්ෂණික ආහාර, ‘කඩ කෑම’ සඳහා වැයකරන අතරම පෝෂණය ගැන නොදැන ආහාර මිල දී ගැනීම සිදු වෙද්දී කෑම පාර්සලයයේ හෝ බඩු මල්ලේ හෝ සැඟවී එන බෝ නොවෙන රෝග රෑ නින්දේදී සිරුරට ඇතුළු වෙයි; ඒ මොහොතට දිව පිනවූ නමුත් මාරාන්තික රෝගයක් තම සිරුරට වැද්දා ගනී. කල්තියා ඒ ගැන කල්පනා කරනවා නම් දිව පිනවන්නට හැකි ආහාර වේලක් ම රෝග බෝ නොකරන කලාපයෙන් උපයා ගත හැකිය. එවිට ඇතැම් විට ආහාර සඳහා මාසිකව වැය කරන මුදල අඩු කර ගන්නට ද හැකිය. ආහාර මිලදී ගන්නා පියවරේදී එලෙස මුදල් ඉතිරි කර ගන්නට කල්පන කරන්නේනම් එය බෝන්ස් හෙවත් පාරිතෝෂිතයකි. නිශ්චිත්වම මුදල් ඉතිරි කළ හැකි වන්නේ ඖෂධ සඳහා වැය කරන මුදල ඉතිරි කර ගන්නට සැලසුම් කිරීමෙනි. ඒ ගැන කල්පනාවෙන් ආහාර මිලදී ගැනීමයි කළ යුතු වන්නේ.

දෙවන පියවර ආයෝජනයයි. ඉපයීමක් නැති ආයෝජනය කළ හැකි වන්නේද අම්මාට හෝ ගෘහණියටයි. ඒ අන් කිසිවකින් නොව දරුවන්ගේ අධ්‍යාපනයයෙනි. අධ්‍යාපනයට දරුවන්ට වෙන් කරන මුදල ආයෝජනයක් වන්නේ රැල්ල්ට ඉගෙනීමට යොමුවීමෙන් නොවේ. අනෙකා සමඟ තරගයට එකම විෂයට ටියුෂන් දෙක තුනකට යාම දරුවාගේ අධ්‍යාපනය ආයෝජනයකට හැරවීමක් නොවේ. රැල්ලට, පෙළඹුමට කරන වියදම අවම කර ගෙන අත්‍යවශ්‍යම දේට පමණක් මුදල් වැය කරගෙන දරුවාගේ අධ්‍යාපනය සැලසුම් කිරීම ආයෝජනයේ පළමු පියවරයි. අධ්‍යාපනය සඳහා කරන වියදම ආයෝජනයක් ලෙස ගෙන එම ආයෝජනයේ ප්‍රතිපළ ඉලක්ක කරමින් කටයුතු කළ යුතු වේ. නිදසුනකට උසස්පෙළ වසර දෙකක් සඳහා ටියුෂන් සඳහා වියදම් කරන මුදලට, දරුවා විභාගය අසමත් වුවත් ප්‍රතිලාභයක් ලැබිය යුතු‍ය කියන තැනින් අනාගතය ගැන කල්පනා කළ යුතු වේ.


"අධ්‍යාපනය වියදමක් නොව, අනාගතය දිනන ආයෝජනයකි."

අධ්‍යාපනයට වියදම් කළ යුතු වන්නේ සෑලසුමකට අනුව මිස රැල්ලට නොවේ. උසස් පෙළට පෙනී සිටින සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාලයට යාමට නොහැකි වන්නේ එම බහුතරය දක්ෂතා නැති අය නිසා නොවන බව වියදම් කරන්නට පෙර දෙමව්පියන් දැනගත යුතුය. හැකියාවට අවස්ථාව පාදා ගැනීමයි වැදගත් කියන සිතුවිල්ල ඇතිව අධ්‍යාපනයට වියදම් කරන විට විභාගය අසමත් වූ දාට නැවත මුල සිට කල්පනා කළ යුතු නොවේ; කල් තියා කල්පනා කරන විට වසර දෙකක් උසස්පෙළට කළ වියදම අපතේ හැරීමක් වන්නේ නැත. එවැනි ඉලක්කයක් ඇතිව දරුවාගේ අධ්‍යාපනයට කරන වියදම ආයෝජනයකි. අම්මා හෝ ගෘහණිය හෝ උපයන්නේ ආයෝජකයකු වන්නටනම් දරුවාගේ අධ්‍යාපනයට වියදම් කරන්නට පළමුව හැකියාවට අවස්ථාව පාදා ගැනීමට කල්පනා කළ යුතුය.


ධනවත් බලවත් ව්‍යවසායකයන් වැඩි දෙනකු හරි පිළිවෙලට විභාග සමත් වූ අයම නොවේ.

 

 

 

 
 
 

Comments


bottom of page