top of page

සාහිත්‍යයෙන් තොර AI යුගයක් නැත

AI හෙවත් කෘතිම බුද්ධිය නිසා අනාගත ලෝකය වෙනස් වන්නේ තාක්ෂණික අන්තයක ජන සමාජය කොටුවීමෙන් ය, යන බිය මුසු අදහස තව දුරටත් නිවැරදි නොවේ. AI හා සාහිත්‍ය අන්ත දෙකක කතාවක් ලෙස සිතන්නට තව දුරටත් ඉඩක් ඉතිරි වන්නේ නැත. නූතන ලෝකයට සාහිත්‍ය යනු අතිරේඛයක් නොවන බව පැහැදිලි වෙමින් තිබේ. AI යුගයෙදී මෙතෙක් සාහිත්‍යට නොලැබුණා වූ ප්‍රධාන තැන ලැබීම විප්ලවයක් වන අතර, මේ හේතුව නිසා මෙතෙක් කල් ‘මෘදු කුසලතා’ (soft skills) ලෙස සැලකූ දේ, රැකියා වෙළඳපොළේ වඩාත්ම ඉල්ලුමක් ඇති ‘දැඩි කුසලතා’ (Hard Skills) බවට පත් වනු ඇත.

ree

කියවීම, ලිවීම සහ අදහස් ප්‍රකාශනය (articulation) යනු තවදුරටත් ජීවිතයට විකල්ප නොවීම AI යුගයේ මානව අන්‍යතාවයක් වීමට නියමිතය. විභාග සමත් වීම ප්‍රමුඛ කරමින් කලකට ඉහත පැත්තකට දැමුණු සාහිත්‍ය, පොතපත පරිශීලනය හා නිර්මාණාත්මක ලිවීම AI යුගයේ අත්‍යවශ්‍ය තාක්ෂණික කුසලතා බවට පත්වෙයි. ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යන පැරණී කියමන අත්‍යවශ්‍ය වලංගුභාවකට හිමිකම් කියනු ඇත. මානවයාට ප්‍රතික්ෂේප කළ නොහැකි මට්ටටමක් කරා වර්ධනය වන AI තාක්ෂණයට යට නොවී සිටීමේ රහස හෝ ආරක්ෂාව හෝ නිර්මාණාත්මක හැකියාව වනු ඇත.


AI වෙතින් ප්‍රශ්න අසා අවශ්‍ය දේ දැන ගැනීමට හැකිවීමෙන් වෙනදාට වඩා පහසුවක් මෙම තාක්ෂණයෙන් අත් වේ යැයි සිතුවාට ඇත්ත එය නොවේ. සරල ප්‍රශ්න කිරීමකින් AI වෙතින් සාර්ථක විසඳුම් හෝ අදහස් ලබා ගැනීමට නොහැක. AI නිසා රැකියා අහිමි වනවා කීවාට ඇත්ත එය නොවන ලෙසිනි; AI යුගයේදී පරණ පුරුදු රැකියා සෑහෙන ප්‍රමාණයක් අහිමිවන නමුත් අලුත් රැකියා අවස්ථා ඇති වේ. AI තාක්ෂණය සම්බන්ධ වන එම රැකියා සඳහා මූළික සුදුසුකමක් වන්නේ ‘prompt’ හෙවත් AI සමඟ කතා කළ හැකි මානව  භාෂාව දැන සිටීමයි. AI පවසන අදහස හෝ විසඳුම හෝ නිවරදි දැයි දැන ගත හැකි වන්නේ, AI වෙතින් ප්‍රශ්න කරන්නට දැන ගන්නෙ ‘prompt’ ගැන අවබෝධය අනුවය. එම අවබෝධය ලැබෙන්නේ කියවීම, ලිවීම, නිර්මාණාත්මක අදහස් දැක්වීම හා ඒ අනුව ප්‍රශ්න කරන්නට දැන ගැනීමෙනි.


කියවීම මිනිසා සම්පූර්ණ කරන අතර ඔබට AI ප්‍රතිචාර කියවා තේරුම් ගැනීමට, එහි නිරවද්‍යතාවය තහවුරු කිරීමට, විචාරශීලීව බැලීමට සහ එහි ඇති හිඩැස් හා hallucinations (AI මගින් ව්‍යාජ තොරතුරු ජනනය කිරීම්) හඳුනා ගැනීමට පුළුල් කියවීමක් සහ අවබෝධයක් අවශ්‍යයි. ලිවීම මිනිසා පරිපූර්ණ කරන අතර ඔබට AI වෙත පැහැදිලි, නිශ්චිත, සහ ඵලදායී විධාන (prompts) සැකසීමට නම්, ඔබේ සිතුවිලි පැහැදිලිව වචනවලට පෙරළීමේ හැකියාව අත්‍යවශ්‍ය වෙයි. ඔබගේ සිතුවිලි කෙතරම් නිරවද්‍ය ද, AI ප්‍රතිචාර ද එතරම්ම නිරවද්‍ය වනු ඇත. අදහස් ප්‍රකාශනය කලාවක් වන අතර AI සමඟ ගොඩනඟන සංවාදය හෙවත් සුසං‍යෝගය ඔබේ අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරීමේ හැකියාව මත රඳා පවතී. මෙය ඔබට නිර්මාණශීලීව සිතීමට, ප්‍රතිචාර ඇගයීමට සහ ඔබේ ඊළඟ විධාන සැකසීමට මග පාදයි.

 

සාහිත්‍ය මාසයේ සැබෑ අරුත සහ අධ්‍යාපනයේ අනාගතය

සැප්තැම්බර් යනු අපේ රටේ සාහිත්‍ය මාසයයි. මෙවර, එහි හරය වෙන කවරදාටත් වඩා අපට වැදගත් වන්නේ AI වෙතින් මානව සමාජයට වෙන්ව සිටීමට නොහැකි වන නිසාය. AI යුගයේ සාර්ථක වීමට නම්, අප නැවතත් සාහිත්‍ය මාසයේ මූලික හරයන් වෙත යා යුතුව ඇත. කියවීම දිරිමත් කළ යුතු වෙයි. ඊටත් වඩා වැදගත් දෙය නම්, ලිවීම දිරිමත් කළ යුතු වීමයි. විද්‍යාව, කලාව, ප්‍රබන්ධ, පර්යේෂණ, නවකතා, කවි ආදී ඕනෑම ආකාරයක නිර්මාණාත්මක ලිවීමක් මෙයට ඇතුළත්ය. සමාජ මාධ්‍යයේ "scroll culture" එකෙන් අපේ දරුවන්ව මුදවාගෙන, ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට නැවත පණ දීමට කාලය පැමිණ ඇත. එනම් AI යුගය යනු ‘ඕපාදූප’ ලෝකයෙන් යතාර්වාදී නිර්මාණාතමක ලෝකයට නැවත කැඳවීමකි. මානව ගුණාංග නැති තාක්ෂණයම ඊට දායක වීම මෙහි ඇති විශේෂ කාරණයයි.


මෙමගින් දැනට පවතින අපගේ අධ්‍යාපන ක්‍රමය වෙතද සෘජු අනතුරු ඇඟවීමක් කළ හැකිය. අධ්‍යාපන ක්‍රමය, මුළුමනින්ම කටපාඩම් කිරීමට සහ විභාග ලකුණු ලබාගැනීමට දී ඇති ඉහළ අවධානය AI මඟින් අතිශයින්ම අවදානමට ලක් කරයි. දැනට සිදුවන්නේ සිසුන්ට සැබෑ අවබෝධයකින් තොරව ‘කටපාඩම් පිළිතුරු’ ජනනය කළ හැකි වීමයි; එමඟින් වත්මන් තක්සේරු ක්‍රමවේද වැඩි වැඩියෙන් යල් පනී. මෙම අභියෝගයට මුහුණ දීමට නම්, අධ්‍යාපන ක්‍රමය විචාරාත්මක චින්තනය වෙතට හැරවිය යුතු වේ. නිර්මාණාත්මක ලිවීම සහ අදහස් ප්‍රකාශනයට ප්‍රමුඛතාවය දිය යුතු වේ. එසේ නොකළහොත් AI හුදෙක් ප්‍රයෝජනවත් මෙවලමක් නොව, සැබෑ බුද්ධිමය කුසලතා ක්ෂය වීමේ උත්ප්‍රේරකයක් බවට පත් වනු ඇත. විසඳුම AI ප්‍රතික්ෂේප කිරීම නොව ශිෂ්‍ය ප්‍රජාව වෙතින් අපේක්ෂා කරන සහ ඔවුන්ගේ හැකියාව මැන බලන නිර්ණායක වෙනස් කිරීමයි.


ප්‍රායෝගික පළමු පියවර: විධාන දිනපොත (Prompt Journal)

මෙම වෙනස ආරම්භ කිරීමට සරල නමුත් බලවත් ක්‍රමයක්  යෝජනා කරමු. විධාන දිනපොත (Prompt Journal) ඕනෑම කෙනෙකුට අදම ආරම්භ කළ හැකි දෛනික හෝ සතිපතා පුරුද්දකි.

  1. කියවන්න: සිත්ගන්නා ලිපියක්, කවියක් හෝ වාර්තාවක් කියවන්න.

  2. ලියන්න: එය සාරාංශ කරමින් එක් ඡේදයක් ඔබේම වචනවලින් ලියන්න.

  3. විධානය දෙන්න (Prompt): ඔබ ලියූ ඡේදය විවේචනය කිරීමට, අභියෝග කිරීමට, හෝ පුළුල් කිරීමට AI වෙත විධානයක් දෙන්න.

  4. මෙනෙහි කරන්න: ඔබේ චින්තන ක්‍රියාවලිය සහ AI හි ක්‍රියාවලිය අතර වෙනස විශ්ලේෂණය කරන්න. ඔබට මඟඇරුණේ කුමක්ද? ඔබගේ අදහස වඩාත් විශිෂ්ට වූයේ කොතැනකද? කියා විමසන්න.

මෙම සරල අභ්‍යාසය, මෙම ලිපියෙන් අවධාරණය කරන සෑම කුසලතාවක්ම සෘජුවම ගොඩනංවයි. එය න්‍යාය ක්‍රියාවට නංවන ප්‍රායෝගික රාමුවකි.


AI ප්‍රතිභාව ගොඩ නැඟෙන්නේ මිනිස් ප්‍රතිභාව මතිනි.

බොහෝ දෙනා නොදකින සත්‍යය නම්, පරිගණකයට ලිවීමට හැකි මේ යුගයේ, AI බලගැන්වීමට මිනිස් නිර්මාණශීලීත්වය, ශිල්පීය බව සහ දක්ෂතාවය අත්‍යවශ්‍ය බවයි. AI හට ඉගෙන ගැනීමට, ඩිජිටල් ආකාරයෙන් ඇති, මිනිසුන් විසින් නිර්මාණය කරන ලද අතිවිශාල අන්තර්ගතයක් අවශ්‍ය වෙයි. AI ප්‍රතිභාව ගොඩනැගෙන්නේ මිනිස් ප්‍රතිභාව මත බව පවසන්නේ එබැවිනි. AI මෙහිදී ඉස්සර වන්නේ මිනිසාට වඩා වේගයෙන් දත්ත විශලෙෂණයට ඇති හැකියාව නිසාය. දත්ත රැස් කිරීම හා විශ්ලේෂණය දිනෙන් දිනම AI වේගවත් කරයි. ඊට යට නොවෙන්නටනම් මිනිසා නිර්මාණශීලී විඅසන්න්කු බවට වෙනස් විය යුතුය. ඒ සඳහා හොඳම මඟ නැවත සාහිත්‍ය මාවතට පැමිණීමයි.

AI හි පාරිභෝගිකයින් පමණක් නොව, එහි නිර්මාණකරුවන් සහ ශිල්පීන් බවට පත් වීමයි විය යුත්තේ. අපේ භාෂාව, අපේ නිර්මාණශීලීත්වය සහ අපේ සිතුවිලි වලින් AI හි අනාගතය ගොඩනගමු. AI යුගයේ දී සැබෑ ජයග්‍රාහකයා වන්නේ මිනිස් මනසෙහි අසීමිත හැකියාවන් AI මෙවලම් සමඟ මනාව මුසු කරන කුසලතා පිරි මිනිසාමයි. AI නිසා දැනුම තිබුණු බලය ගිලිහෙන අත්‍ර දැනුම විග්‍රහ කරන්නට හා නිර්මාණශීලීව සිතන්නට දන්නා තරම අනුව බලය ගලා එයි.

 

කියවීම මිනිසා සම්පූර්ණ කරයි

ලිවීම මිනිසා පරිපූර්ණ කරයි

Prompting මිනිසා නිර්මාණාත්මක කරයි

AI සුසංයෝගය මිනිසා අපරාජිත කරයි.


සාහිත්‍ය සහ AI සුසංයෝග කෙරුණු ලිපි මාලාව

මිනිසා සහ AI අතර ඇතිවිය හැකි නිර්මාණාත්මක හෝ චිත්තවේගීය සබඳතාව ගවේෂණය කරන්න. මෙය කවියෙකුට අලුත් අදහස් දෙන AI කෞෂල්‍යයක් ගැන විය හැකියි. නැතහොත්, තනිකම මකන AI මිතුරෙකු ගැන සංවේදී කතාවක් විය හැකියි. මිනිසාගේ හැකියාවන් AI මගින් වර්ධනය වන ආකාරය මෙහිදී නිරූපණය කළ හැකිය.

ස්වයං-දැනුවත්භාවයක් (self-awareness) ලැබූ AI වැඩසටහනක දෘෂ්ටිකෝණයෙන් කතාවක් ලියන්න. එම AI වැඩසටහනට ආදරය, බිය, තනිකම වැනි හැඟීම් දැනිය හැකිද? එයට මිනිසුන් මෙන් අයිතිවාසිකම් තිබිය යුතුද? මෙම මාතෘකාව යටතේ විද්‍යා ප්‍රබන්ධ මෙන්ම දාර්ශනික ගැටලුද සාකච්ඡා කළ හැකිය.

අප මියගිය සමීපතමයන්ගේ කටහඬ, රූපය සහ මතකයන් AI මගින් නැවත නිර්මාණය කළ හැකි ලෝකයක් ගැන සිතන්න. යමෙක් එසේ මියගිය තම ආදරණීයයෙකුගේ AI ආකෘතියක් සමඟ කතා කරයි. එය සැනසීමක්ද? නැතහොත් එය සැබෑ මතකයන් විනාශ කරන උගුලක්ද?

Deepfake තාක්ෂණය සහ AI මගින් ජනනය කරන ලද ප්‍රවෘත්ති නිසා සත්‍යය සහ අසත්‍යය අතර වෙනස හඳුනාගත නොහැකි සමාජයක් ගැන ලියන්න. මෙම තත්ත්වය පුද්ගලික සබඳතාවලට, දේශපාලනයට සහ සමාජ විශ්වාසයට බලපාන ආකාරය ගවේෂණය කරන කතාවක් හෝ ලිපියක් නිර්මාණය කළ හැකිය

කෘත්‍රිම බුද්ධිය නිසා තම රැකියාව හෝ සාම්ප්‍රදායික කලාව අහිමි වූ ලේඛකයෙකු, චිත්‍ර ශිල්පියෙකු හෝ පරිවර්තකයෙකු වැනි චරිතයක් වටා කතාවක් ගොඩනගන්න. තාක්ෂණය විසින් මිනිස් ශ්‍රමය සහ කුසලතා අභිබවා යන විට, මිනිසෙකු ලෙස අපගේ වටිනාකම සහ අරමුණ කුමක්ද?

AI පරිවර්තන මෙවලම්, chatbots සහ අන්තර්ගත නිර්මාණකරණය අපගේ භාෂාව භාවිත කරන ආකාරය වෙනස් කරන්නේ කෙසේද? AI නිසා සිංහල භාෂාවට අලුත් වචන, යෙදුම් বা යම් විකෘතිතා එකතු වේද? මෙය සාහිත්‍යමය විමසුමක් ලෙස ලිපියකට හෝ රචනාවකට හොඳ මාතෘකාවකි.

පවුලක සාමාජිකයෙක් බවට පත්වන AI උපාංගයක් ගැන සිතන්න. දරුවෙකුගේ අධ්‍යාපනයට උදව් කරන, දෙමව්පියන්ට වඩා දරුවාව තේරුම් ගන්නා AI ටියුටර් කෙනෙක්, හෝ වැඩිහිටියන් රැකබලා ගන්නා AI සහායකයෙක්. මෙමගින් පවුල් සබඳතා ශක්තිමත් වේද? නැතහොත් මිනිසුන් එකිනෙකාගෙන් දුරස් වේද?

AI වෙත අප ලබාදෙන උපදෙස් (prompt) යනු නව සාහිත්‍යමය කලාවක් බවට පත්වෙමින් තිබේ. AI වෙතින් විශිෂ්ට නිර්මාණයක් ලබා ගැනීම සඳහා ලියන ලද ඉතාම නිර්මාණාත්මක සහ කාව්‍යාත්මක prompts මාලාවක් නිර්මාණය කරන්න. නැතහොත්, පරිපූර්ණ prompt එකක් සෙවීමේ ගමනක් ගැන කෙටිකතාවක් ලියන්න.

Comments


bottom of page